අධ්‍යාපනය සඳහා අය-වැය යෝජනා අර්ථවත් ද?

ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි.

ජාතික අධ්‍යාපන අර්බුදය විසඳීමට නම් මූලික ප්‍රතිපත්ති 4ක් මත පදනම් ව ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව අය-වැය ඉදිරිපත් කිරීමට පෙර මෙවැනි ම ලිපියකින් පෙන්වා දුන්නේය. මෙම සිවු වැදෑරුම් ප්‍රතිපත්ති, කාරයක රෝද  මෙන් එක විට ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කළේය. නිදහස් අධ්‍යාපන උරුමය හා බැඳි එම ප්‍රතිපත්ති සතර මතු දැක්වේ.

(1)   ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හෝ මැතිවරණ කොට්ඨාස පදනම් කර ගෙන පාසල් වර්ගීකරණයක් සිදු කිරීම.

(2)   ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කිරීම.

(3)   යහපත් පුරවැසිභාවය දිරිගන්වන විෂයමාලාවක් බිහි කිරීම.

(4)   නිදහස් අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6%ක් වෙන් කිරීම.

මෙම ප්‍රතිපත්ති කෙරෙහි ආණ්ඩුවේ කැපවීම දැන් විමසා බැලිය හැකිය. මෙම ලිපිය මගින් වෙසෙසින් විමසා බලන්නේ පාසල් අධ්‍යාපය කරෙහි අය-වැය යෝජනාවල බලපෑම පමණි. මක්නිසා ද යත් පාසල් අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේ අත්තිවාරම වන බැවිනි.

''අප රජයේ අධ්‍යාපන උපායමාර්ගය, ඉගැන්වීමේ ගුණාත්මකභාවය, පාස,aවල සහ ශිෂ්‍යයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රායෝගික පාසල් විෂයමාලාවක් යන  ශක්තිමත් කුලුනු තුන වැඩිදියුණු  කිරීම මත පදනම් වෙනවා'' යි අය-වැය යෝජනාවල සඳහන් වේ. ඊට අමතර ව අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් 2.72%ක් පමණ වෙන් කර තිබේ.

කොට්ඨාස පදනම් කර ගත් පාසල් වර්ගිකරණයක්

දැනට තිබෙන 'කොළඹට කිරි ගමට කැකිරි' අධ්‍යාපන ක්‍රමයත්, විසම පාසල් ක්‍රමයත් එසේ ම තිබිය දී පාසල්වල සහ ශිෂ්‍යයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 63,500ක් වෙන් කර තිබේ. කොට්ඨාස පදනම් කර ගෙන පාසල් වර්ගීකරණය කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළි නො ගෙන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම නිසා මේ තාක් සිදු වූයේ පාසල් පද්ධතියේ විසමතා තීව්‍ර වීමයි. ඉදිරියටත් එය ම සිදු වනු ඇත. යටත් පිරිසෙයින් පළමුවැනි ශ්‍රේණියට ඇතුල් වන ළමයිනට වෙනස් කොට සැලකීම අවසන් කිරීම සඳහා විසමතා නැති, වෙන ම ප්‍රාථමික පාසල් පද්ධතියක් සකස් කිරීමට තරම් වත් ආණ්ඩුවට හෘදය සාක්ෂියක් නැද්ද?

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හෝ මැතිවරණ කොට්ඨාස පදනම් කර ගෙන පාසල් වර්ගීකරණය කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත හොත්, පළමු ව කොට්ඨාස අතර පවතින විසමතා නැති කිරීමට සිදු වේ. අඩු ම පහසුකම් ඇති කොට්ඨාසයෙන් පටන් ගෙන ක්‍රමානුකූල ව යටිතල පහසුකම් ලබා දීමට සිදු වේ. එය ජනතාවට පෙනෙන සහ දැනෙන සැබෑ වෙනසක් වේ. එ මගින් කොට්ඨාස අතර විසමතා සමනය කළ හැකි වේ. එවිට ගම සහ නගරය අතර පවතින විසමතාව ක්‍රමයෙන් අහෝසි වේ.

ඊළඟට අවශ්‍ය වන්නේ පාසල් අතර විසමතා අහෝසි කිරීමයි.  දැනට තිබෙන්නේ විසමතා අහෝසි කළ නොහැකි පාසල් ක්‍රමයකි. පවතින විසමතා මෙම පාසල් ක්‍රමයට ම ආවේනික ලක්ෂණයකි. නිදසුනක් වශයෙන් 1-5 සහ 1-13 පාසල් අතර පවතින්නේ කිසි දා අහෝසි කළ නොහැකි විසමතාවකි. එහෙත් 1-5, 6-11, 12-13 යනුවෙන් පාසල් වර්ග තුනක් පමණක් තිබේ යැයි මොහොතකට සිතමු. එවිට ඒ ඒ වර්ගවලට අයත් පාසල් අතර පවතින විසමතා හඳුනා ගෙන ඒවා  ක්‍රමානුකූල ව සමනය කළ හැකි වේ. මෙවැනි පාසල් වර්ගීකරණයක් නො කර 'ළඟ ම පාසල හොඳ ම පාසල' කිරීමට වෙනත් මගක් නැත.

එහෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හෝ මැතිවරණ කොට්ඨාස පදනම් කර ගෙන පාසල් වර්ගීකරණය කිරීම, අය-වැය යෝජනා මගින් පිළිගෙන නොමැති නිසා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම අර්ථසම්පන්න නො වේ. මේ අනුව නිගමනය කළ හැක්කේ ජනප්‍රිය පාසල් තරගය තවදුරටත් පවත්වා ගෙන යාම ආණ්ඩුවේ අප්‍රකාශිත ප්‍රතිපත්තිය බවයි. ආණ්ඩුව නොකියා කරන්නට යන්නේ 'කොළඹට කිරි ගමට කැකිරි' අධ්‍යාපන ක්‍රමයත්, විසම පාසල් ක්‍රමයත් තවදුරටත් පවත්වා ගෙන යෑමයි.

මෙවැනි තත්ත්වයක් යටතේ අය-වැය යෝජනා මගින් ''සියලු ම සිසුන් වසර 13ක් පාසලෙහි හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අප විසින් අනිවාර්ය කරනවා'' යි ප්‍රකාශ කිරීම යථාර්තයක් වන්නේ කෙසේ ද? වෙනත් වචනවලින් පවසනවා නම් දැනට සා/පෙළ විභාගයෙන් පසු හැලෙන 50%ට වඩා අධික ශිෂ්‍යයන්හට වෘත්තීය පුහුණු පාසල් තිබෙන්නේ කොහේ ද?

එවැනි තීරණයක් යථාර්තයක් බවට පත් කිරීම සදහා රූප සටහනේ දැක්වෙන ආකාරයේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන පද්ධතියක් අපේ රටට අත්‍යවශ්‍ය වේ. එවැනි අභිලාෂයක් අය-වැය යෝජනා තුළින් කිසි සේත් පිළිබිඹු නො වේ.

ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක්

රජයේ සහ රජයේ අධාර ලබන පාසල්වලට බඳවා ගනු ලබන සියලු ම ගුරුවරුනට සේවයට බැඳී මුල් අවුරුදු 5 ඇතුළත වසර 2ක පූර්ණකාලීන ගුරු පුහුණුව ලබා දීම සඳහා රුපියල් බිලියන 1000ක් අය-වැයෙන් වෙන් කර තිබේ. මෙම යෝජනාව මගින් ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කිරීම, ප්‍රතිපත්තියක් වශයෙන් බැහැර කර තිබේ.

ඕනෑම අධ්‍යාපන ක්‍රමයක ප්‍රාණවායුව ගුරුවරුන්ගේ වෘත්තීයමය පරිචයයි. එවැනි ගෞරවනීය ගුරුවෘත්තියක් සමන්විත වන්නේ බඳවා ගෙන පසුව පුහුණු කරන ගුරුවරුන්ගෙන් නො ව, පුහුණුවෙන් පසු බඳවා ගන්නා ගුරුවරුන්ගෙන්ය. ගුරුවරුන් ලෙස පුහුණු කිරීම සඳහා බඳවා ගත යුත්තේ චරිතයට මුල් තැන දී බුද්ධිමත් තරුණ තරුණියන්ය. පූර්ණකාලීන ගුරු පුහුණුව යටත් පිරිසෙයින් වසර 5ක් විය යුතුය. පුහුණුවෙන් පසු ගුරු වෘත්තියේ නියැළීම සඳහා බලපත්‍ර ලබා දිය යුතුය. ඒ සඳහා වෛද්‍ය සභාව වැනි අධ්‍යාපන සභාවක් ස්ථාපනය කළ යුතුය.

නිදසුනක් වශයෙන් දැනට ලෝකයේ හොඳ ම අධ්‍යාපන ක්‍රමයක් පවතින ෆින්ලන්තයේ ගුරු වෘත්තියට ඉල්ලුම් කළ හැක්කේ උපාධිධාරීන්ගෙන් හොඳ ම 10%ට අයත් පිරිසට පමණි. ගුරු පුහුණුව වසර 5කි. රජය සියලු වියදම් දරයි. සියලු ගුරුවරු අධ්‍යාපනපති උපාධිධාරීහු වෙති. ගුරුවරු අතර වෙනසක් හෝ තරගයක් නැත. ඔවුන්ගේ වැටුප් වැඩි වන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පමණි. ගුරුවෘත්තියේ තත්ත්වය සෑම අතින් ම එරට වෛද්‍ය වෘත්තියට හා නීතීඥ වෘත්තියට සමානය.

රට දියුණු කිරීමට අවංක වුවමනාවක් තිබේ නම් මුල් තැන දිය යුත්තේ අධ්‍යාපන සංවර්ධනයටයි. ඊට හේතුව ඕනෑම රටක තිරසාර ආර්ථික සංවර්ධනය ගමන් කරන්නේ මානව සංවර්ධනයට පසුපසින් වන නිසාය. කියුබාව වැනි රටක් පවා පිටරට රැකියාවලට යවන්නේ අම්මාවරුන් නො ව ගුරවරුන් සහ වෛද්‍යවරුන්ය. මෙවැනි දිශාවකට යොමු වීම සඳහා අපේ රටට ඉතා ඉහළ ශක්‍යතාවක් ඇත.

ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කළ හොත් ඔවුනටත් වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා ගෙන දියුණු රටකට යා හැකිය. එවැනි රටක ගුරු වෘත්තියේ නියැළී අඩු ම වශයෙන් රුපියල් කෝටි තුනහමාරක් හෝ හතරහමාරක් පමණ උපයා ගෙන ආපසු පැමිණිය හැකිය. එවිට ටියුෂන්වලින් නිදහස් ව සිය ආත්මගරුත්වයත්, වෘත්තීයගරුත්වයත් ආරක්ෂා කර ගෙන උසස් ජීවන තත්ත්වයක් ගත කරමින් ගුරු වෘත්තියේ නියැළිය හැකිය. ඊටත් වඩා වැදගත් වන්නේ දියුණු රටක ගුරු වෘත්තියේ නියැළීමේ දී ලබන ජීවන අද්දැකීමයි. එය පෙරළා අපේ රටේ මානව සම්පත් සංවර්ධනයට මහඟු පිටිවහලක් වේ.

ගුරු වෘත්තිය පිළිබඳ අය-වැය යෝජනාවලින් බැලූ බැල්මට පෙනෙන්නේ 'අශ්වයා කඩුල්ලට උඩින් පැන්නීමටත් ඕනෑ - ඌ තුට්ටු දෙකට ගන්නත් ඕනෑ' කියන උපායමාර්ගය අනුගමනය කරන බවයි. එහෙත් ඇත්ත වශයෙන් ම සිදු ව තිබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කිරීමේ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරීමයි.

යහපත් පුරවැසිභාවය දිරිගන්වන විෂයමාලාවක්

විෂමාලා සංවර්ධනය සඳහා අය-වැය යෝජනා මගින් සතයක් වත් වෙන් කර නැත. විෂයමාලාව යනු අධ්‍යාපනයේ ගමන් මාර්ගයයි. දැනට පවතින විෂයමාලාව මගින් සිසුන් ආර්ථික ලාභය උදෙසා තරග වැදීමට පොළඹවනු ලබයි. ළමා කාලය උදුරා ගෙන ඔවුන්ගේ මනුෂ්‍යත්වය නසයි. ආත්මාර්ථය පෝෂණය කරයි. ප්‍රඥාව අතුරුදන් කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිපත්තියක් නැති දේශපාලනය, ශ්‍රමය වැය නො කර ධනය රැස් කිරීම, සිත්පිත් නැති විනෝදය, හික්මීමක් නැති උගත්කම, සදාචාරයක් නැති වෙළඳාම, දයාවක් නැති විද්‍යාව, පරිත්‍යාගයක් නැති වන්දනාව යනුවෙන් මහත්මා ගාන්ධි නම් කළ මහා පව් 7 ම අපේ රටේ මිනිසුන් වැඩි දෙනකු අගයන ධර්මතා බවට පත් වෙමින් තිබේ. මෙම විෂයමාලාව තව දුරටත් පැවතුන හොත් කිසිවකුට යහතින් ජීවත් විය හැකි ශිෂ්ටසම්පන්න සමාජයක් ඉතිරි වේ යැයි සිතිය නොහැකිය.

බැලූ බැල්මට පෙනීයන්නේ විෂයමාලාව ගැන ආණ්ඩුව එතරම් බැරෑරුම් ලෙස කල්පනා නො කරන බවයි. එහෙත් සත්‍ය වශයෙන් සිදු ව තිබෙන්නේ ආණ්ඩුව, යහපත් පුරවැසිභාවය දිරිගන්වන විෂයමාලාවක් සම්පාදනය කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළි නො ගැනීමයි.

නිදහස් අධ්‍යාපනයට 6%ක්

බොහෝ කාලයකට පසු අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කිරීම සතුටු දායක නැඹුරුවක් ලෙස සැලකිය හැකිය. එය පසුගිය වර්ෂයට සාපේක්ෂ ව 31%ක පමණ වැඩි වීමකි. එහෙත් මෙම මුදල් නිදහස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වෙන් කරන බව ප්‍රකාශ කර නැත. ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නා බව ද ප්‍රකාශ කර නැත.

නිදහස් අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කර, නිශ්චිත කාලසීමාවක දී එම ඉලක්කයට ළඟා වීම සඳහා වාර්ෂික ව වැඩි කරන ප්‍රතිශතය, අය-වැය යෝජනා මගින් ප්‍රකාශයට පත් කළා නම් එම ප්‍රතිපත්තිය කෙරෙහි ආණ්ඩුවේ කැපවීම හා අධිෂ්ඨානය විද්‍යමාන විය හැකි ව තිබිණි.

නමුන් ආණ්ඩුව ඒ අයුරින් ක්‍රියා නො කර, ''කෙසේ වුවත් අප රජය කිසිදු අවස්ථාවක දැන ට පවත්නා නිදහස් අධ්‍යාපනයෙන් බැහැර වීමට කටයුතු නො කරන බව ද මා මෙම ගරු සභාවට සහතික කර සිටිනවා'' යි පැවසීම අර්ථ විරහිතය. එබැවින් අපේ රටේ නිදහස් අධ්‍යාපන උරුමය උදෙසා ආණ්ඩුවේ කැපවීම පිළිබඳ  විශ්වාසයක් තැබිය නොහැකිය. එබැවින් අධ්‍යාපනය සඳහා වූ අය-වැය යෝජනා අර්ථවත් යැයි කිසිසේත් පැවසිය නොහැකිය.


Post a Comment

0 Comments